top of page

සිහගිරි පවත

  • Writer: ADMIN
    ADMIN
  • Jul 23, 2023
  • 17 min read

Updated: Oct 4

සිහගිරි පවත

සේනක බණ්ඩාරනායක

ඉංග්‍රීසි පිටපත ඇසුරින් රචනා කළේ

මංගල ඉලංගසිංහ

යුනෙස්කෝ - ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණය සීගිරිය ව්‍යාපෘතිය

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුග්‍රහයෙනි

ree


සීගිරිය


සිහගිරි පවත


කඳු හෙල්වලින් හා වන පෙත්වලින් ද මිනිසා විසින් නිමවන ලද මහ වැව් වලින් හා පැරණි ගම්මානයන්ගෙන් ද වට වූ සීගිරිය හෙවත් සිංහගිරි පර්වතය ශ්‍රී ලංකා ධරණි තලයේ හරි මැදට වන්නට පිහිටා ඇත.


සීගිරිය ආසියාවේ ඇති ප්‍රධාන පුරාවිද්‍යාත්මක මධ්‍යස්ථාන වලින් එකකි. ලංකාවේ පැරණි අගනුවරවල් තුනක් එනම්; අනුරාධපුරය, පොළොන්නරුව හා මහනුවර මුල් කරගෙන ආරම්භ කළ යුනෙස් කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රධාන ව්‍යාපෘති මධ්‍යස්ථාන වලින් එකක් වූ සීගිරිය ගැන ප්‍රථම වරට වංශකතාවල සඳහන් වන්නේ ක්‍රි. ව. පස්වන ශතවර්ෂයේ සිටය. නමුත් සීගිරිය හා ඒ අවට ප්‍රදේශ වලින් සොයාගෙන ඇති කෙටි බ්‍රාහ්මී ශිලාලිපිවලින් පෙනෙන්නේ මේ ප්‍රදේශය ආදිම ආර්ය ජනාවාසයන්ගෙන් එකක් වූ බවයි.


සිගිරි මහපව්ව මුදුනේ රජ මාළිගයකි. එය වට කොට පර්වත පාමුල නිමැවුණු පවුරු පදනම් ද ගල්කුළු, පොකුණු හා දිය අගලින් විසිතුරු වුණ උයන්වතු ද දිස්වේ.


සීගිරි පුවත වනාහි සුවිසල් බලකොටුවල හා දැවැන්ත ගල්කුළුවලත් විසිතුරු දිය අගල් හා මනරම් මල් උයන්වලත් අහස් කුස සිප ගන්නා රජමාලිගයක හා මනනුවන් පැහැර ගන්නා අති උදාර සිතුවම් පෙළකත් කතාන්තරයයි.


මේ කතා පුවත වෙසෙසින්ම පැරණි ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ ශ්‍රමයේ හා ප්‍රතිභාවේ ද ඉංජිනේරුවන්ගේ හා වාස්තු විද්‍යාඥයන්ගේ හා කවීන්ගේත්. රජ දරුවන්ගේත් ප්‍රතිභාපූර්ණ චින්තනයේ හා නිර්මාණ කෞශල්‍යයේත් ජයග්‍රාහී පණිවිඩයයි. එපමණකුත් නොව එය දේශපාලන අරගල, රජමාලිගා තුළ කෙරුණු කුමන්ත්‍රණ හා එළිපිට කෙරුණු යුද්ධවලද කතාන්තරය වේ.


අපේ වංශකතාවල එන සීගිරි කතා පුවත ගෙතෙන්නේ සීගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන වීරයා වුත් පළමු වන කාශ්‍යප රජු වටායි. කාශ්‍යප සිටියේ ක්‍රි. ව. පස්වන සියවස අග භාගයේය. ඔහු ක්‍රි. ව. 459 සිට 477 දක්වා අනුරපුර රජ කළ ධාතුසේන මහ රජුට දාව යකඩ දෝලියක (දෙවන පෙළ බිසොවක ) කුස උපන්නෙකි. වසර දහසකටත් අධික කාලයක් තිස්සේ රටේ අගනුවර මෙන්ම ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයද වූ අනුරාධපුරය ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ තෝතැන්න ද විය. එහි අද දක්නට ඇති ආගමික හා ලෞකික නටබුන් අනුරාධපුරයේ මෙම පැරණි ශ්‍රී ලංකාවේ ද ශ්‍රී විභූතියට දෙස් දෙන සාධකයෝය.


අනුරාධපුරයේ රජ කළ අතිශය ප්‍රතාපවත් පාලකයින්ගෙන් කෙනෙකු වූ ධාතුසේන මහ රජු යෝධ වැව් අමුණු වල ශ්‍රේෂ්ඨ නිර්මාපකයන් අතර උසුලන්නේ අද්විතීය ස්ථානයකි. වර්තමාන විද්‍යා ඉතිහාසඥයෝ මේ මහා වාරිමාර්ග ක්‍රම නිර්මාණය කළ සිංහලයන්ගේ ශිල්පඥානයත් නිර්මාණ කුසලතාවත් පැරණි මිසර හා චීන නිර්මාණ ශිල්පීන්ගේ ශිල්පඥානය හා නිර්මාණ කුසලතාවන් සමඟ සම තැන්හි ලා සලකති. අනුරාධපුරය, සීගිරිය හා පොළොන්නරුව වැනි සුවිසල් පුරවරයන් හා ගෘහ නිර්මාණ සංකීර්ණයන් බිහි වුයේ මේ මහා වාරිමාර්ග තාක්‍ෂණයේ ප්‍රතිඵල පදනම් කරගෙන ය.


අතිශය සංකීර්ණ මේ වාරිමාර්ග රටාව නිසා ශ්‍රී ලංකාවේ ඉතා සරුසාර කෘෂි ආර්ථිකයක් බිහිවුණි. එම ආර්ථිකය පදනම් කරගත් මේ විශිෂ්ට ශිෂ්ටාචාරයේ සැබෑ නිර්මාපකයෝ නම් තම මුළු ජීවිතයම කම්හල්, කෙත්වතු ආදී වැඩපලවල ගෙවමින් දහඩිය මුගුරු හෙලු ශිල්පීන්ගේ හා ගොවීන්ගේ නිමක් නැති පරම්පරාවෝය. වංශකතා සෙල්ලිපි හා විවිධ පුරාවි නෂ්ටාවශේෂයන්ගෙන් හෙළිවන ඉහත කී ඉතිහාස යුගයේ බිහි වූ උදාර සංස්කෘතියේ හා සම්භාවනීය ශිෂ්ටාචාරයේ පදනම වැටුනේ මෙම අප්‍රකට කෝටි සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ දහඩිය මුගුරු තුළිනි. අප ඉදිරියේ කැපී පෙනෙන රජුන්ගේ, බිසෝවරුන්ගේ හා කුමර කුමරියන්ගේ බැබලෙන නම් තුළ සැඟැවී ඇත්තේ එම ගොවි හා ශිල්පි පරම්පරාවන්ගේ ප්‍රතිභාව හා ශ්‍රමයයි.


සිය මුතුන්මිත්තන් මෙන්ම ධාතුසේන මහ රජු ද තමා සතු එකම සම්පත ලෙස සැලකුවේ ඇලවේලි, වැව් අමුණු මගින් රඳවා ගත් මහා ජලස්කන්ධයයි. සීගිරි කාශ්‍යප මහරජු මේ මහා සම්පත කලාත්මක නිර්මාණයෙන් බවට, එනම්; පොකුණු, මල් උයන් හා අති ශෝභමාන ගෘහ නිර්මාණ සංකීර්ණයන් බවට පෙරැලීය. සීගිරිය මේ මහා නිර්මාණයන්ගේ උසස් ම ප්‍රතිඵලයයි.


ධාතුසේන මහ රජුට මහ සෙනෙවිකම් කළෝ ඔහුගේ බෑණනුවන් වූ මිගාරයෝය. කාශ්‍යප තම සුහුරු බඩුණුවාණන් වුත් නැගණියගේ ස්වාමි පුරුෂයා වූත් මිගාර සමග රජවාසල කුමන්ත්‍රණයක යෙදී සිය පියාගෙන් සිහසුන පැහැර ගත්තේය. මිගාර විසින් පොළඹවනු ලැබූ කාශ්‍යප, පිය මහ රජු සතුව ඇතැයි සිතු මහා ධන නිධානය ඉල්ලා නොලද තැන රුදුරු ලෙස ඔහු මරා දැම්මවී ය. මේ බිහිසුණු කුමන්ත්‍රණ හා මිනිස් ඝාතන වලින් බේරී ගත් රජ කිරුළ හිමි මොග්ගල්ලාන කුමරු දඹදිවට පළා ගියේය.


පැරණි වංශකතා මේ පුවත මෙසේ වාර්තා කරයි; " ඉන්පසු මේ අදමිටු රජු සිය සොහොයුරා ඝාතනය කළ නොහැකි වූ තැන බියෙන් ඇලලී ගිය සිත් ඇත්තේ මිනිසුන්ට පහසුවෙන් තරණය කළ නොහැකි තැනක් වූ සිංහ ගිරිය තම වාස භවනය කර ගත්තේය. මේ පර්වතය වටා ඇති කැළෑ එළි පෙහෙළි කළ ඔහු ඒ වටා මහා පවුරක් තනවා, පර්වතයේ විවිධ පැති එක්වන සේ සිංහ රාජයකුගේ ස්වරූපය ගත් පඩිපෙලක් තැනවීය. එහි දැකුම් කළු මහා මාලිගයක් නිර්මාණය කරගත් හෙතෙම එය සිය වාස භවනය කොට ගෙනැ විසී ය.''


සීගිරිය අගනුවරක් බවට විකාශනය වීම


සීගිරියේ මහා පර්වතය පාමුල ඇති ලෙන්, ආරාම ලෙස මහා සංඝයාට පිදුනේ ක්‍රි. පූ. තුන්වන සියවසේ පමණ සිටය. මේ බුද්ධාගම ලංකාවට හඳුන්වා දුන් කාල පරිච්ඡේදයයි. මේ කාලය වන විට සීගිරිය හා අවට ප්‍රදේශ ආර්ය ජනාවාස බවට පත් වී දියුණු තත්ත්වයක පැවැති බව මේ ප්‍රදේශයෙන් ලැබී ඇති බ්‍රාහ්මී ශිලා ලිපි රාශියෙන් පෙනේ.


එහෙත් අද අපි දකින සීගිරිය ඉතිහාසයට එක් වන්නේ ක්‍රි. ව. 477 සිටයි. එනම්; පළමුවන කාශ්‍යප මහ රජු එය තම අගනුවර කරගත් තැන් සිටයි.


සිගිරිය පරිපූර්ණ අගනුවරක් බවට විකාශනය වීමේ අවස්ථා කීපයක් ඇත. මුලදී එය දකුණින් මාපාගලිනුත්, වෙනත් තැන්වලින්


ree

දැවැන්ත ගල්පර හා ගල්කුළු වලිනුත් වට වූ මහ ගල් පර්වතයකි. නැගෙනහිරින් වැවකුත් සෙසු පැති වට කොට ආරක්ෂක බලකොටුත් ඉදිවුනේ දෙවෙනි අවධියේදීය.


නැගෙනහිරට හා බටහිරටත් විහිදෙන මහ පවුරක් හා දිය අගලකුත් ඇතිව පර්වතය මුදුනේ ඉදි වූ මාලිගයත් බටහිර දෙසින් පෙනෙන දිය අගල හා පවුරු පදනම් වලින් වටවූ ගල්කුළු, ගල්පර සහිත ජල උද්‍යානයනුත් තැනුනේ සීගිරියේ විකාශනයේ තුන්වන අවධියේය.


මාපාගල


මාපාගල වටා ඇති මහා ගල් පෙළින් සැදුම් ලත් පවුරු සමහර විට සීගිරියේ මුල්ම බලකඳවුර විය හැකි ය. ඇතැම් පුරා විද්‍යාඥයින්ගේ නිගමනය අනුව මෙය කාශ්‍යප රජුට පෙර යුගයකට අයත් විය හැකිය.


ඇතුල් කොටුපවුර


සීගිරි බලකොටුවේ ඇතුල් කොටු පවුර එහි ඉතිහාස යුගයේ කීපවරක් ම නවාංග එකතු කරමින් යලි යලිත් ගොඩ නැගූ බව පෙනේ. ගල් හා ගඩොළු සංයුත ගෘහ නිර්මාණ ශිල්පයේ විසිතුරු නිමැවුමක් පෙන්නුම් කරන මේ පවුර වඩාත් ශක්තිමත් කරන ලද්දේ එය තැනින් තැන පිහිටි මහ ගල්කුළු වලට සම්බන්ධ කිරීමෙනි.


ඇතුල් බලකොටුවට පිවිසෙන ප්‍රධාන දොරටුව වූයේ දැනට බෙහෙවින් කැඩී බිඳී ගොස් ඇති පුළුල් පියගැට පෙළකි. රජමාලිගය කරා ගමන් කිරීම ඇරඹෙන්නේ මෙතැනිනි. ගල්කුළු හා ගල්තලා අතර වූ මල් උයන්, කඳු රැළි හා ස්වාභාවික ගල් ආරුක්කු ආදියෙන් සැදුන මේ වංකගිරි මග ඒ හා බැඳුණු ගල්තලා අතරින් නන් දෙසට විහිදෙන පටු මං රැස නිසා සීගිරි සංකීර්ණයේ ඇති විචිත්‍ර වූත් සුවිශේෂ වූත් භුමි දර්ශනයන්ගෙන් එකක් වෙයි. වැඩි හරියක් මනාව ඔප දැමූ හිරිගලින් නිමැවුණු මේ පියගැට පෙළ දිගේ කෙනෙකුට මහා පර්වතයටත් ගිරි උයනටත් මැදි වූ පෙමං දෙසට පිවිසිය හැකි ය.


මහා පිය ගැට පෙළ


උයන් වතු හා මහා පර්වතය එකිනෙකට යා කෙරෙන මේ පෙමං හරහා සුවිශාල පිය ගැට පෙළ දෙකක් බටහිර දෙසට දිවෙයි. ඉන් එකක් වන උතුරු පියගැට පෙළ යයි හඳුන්වන දැවැන්ත ගල්පඩි සමූහය සීගිරි වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ චින්තනයත් පැහැදිලි කරයි. කෞශල්‍යයත් විසිතුරු සීගිරි මහා පර්වතයේ මුවදොර දක්වා අපට මග පෙන්වන මේ පියගැට පෙළ කෙළවර වන්නේ ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ට නිර්මාණයක් වන උත්තුංග පිය මංතලාවකිනි. මනාව ඔප ගැන්වූ හිරි ගලින් නිමැවුණු මෙම පියමං තලාව සියුම්ව පිරිමැද සිනිඳු කළ එහෙයින්ම කැටපත් පවුර යයි නම් ලද මහ පවුරෙන් ආරක්ෂා වී ඇත.


සිංහ පාද



ree

මෙතැනින් අප පිවිසෙන්නේ සීගිරියට එම නම දුන් දැවැන්ත සිංහපාද අබියසටයි. වැදහොත් දැවැන්ත සිංහයෙකු ගේ ඉදිරි දෙපා අතරින් ඇරැඹි මුවින් උඩට විහිදෙන ලෙස තැනූ මේ මහා පිය ගැට පෙළ නිමැවෙන්නේ පර්වතයේ මහා බෑවුම් පෙදෙසකිනි. සිංහයාගේ දැනට ශේෂව ඇති බාහු යුගලය පමණක් වුව ද කෙනෙකු තුළ ප්‍රතාපය හා බලය පිළිබඳ අපූරු හැඟීමක් දනවයි. කැටපත් පවුරේ ලියූ ගීයකින් පැරණි කවියෙක් මෙසේ කියයි: සී රජු යසස්ස සිරි - තුබූ මුලු ලොව පැතිරි


නිලුපුල් ඇසුන් අසිරි - බැලුමො සිහිගිරි ( මේ මහා සිංහ රාජයාගේ කීර්ති කදම්බයන් තේ ජෝ බල පරාක්‍රමයත් මුළු ලොවැ පැතිරී ඇත.) තවත් කවියෙක් මෙසේ කියයි. නැගී ඇති බලනට බැලිමි සිහිමියන් සිහිගිරි


මනදොළ පුරයි ඇති - බලනරිසි නොවෙ බෙයන්ද්


රන්වන්


(එහි කුමක් ඇද්දෝයි බැලුමට සිංහගිරියට නැගුණු මම එය සිත් සේ බලා ගතිමි. මහා සිංහරාජයා ද දුටිමි ) මේ සිංහ රූපය දැක්මෙන් එහි ගිය පැරන්නන් තරම් ම නූතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයින් ද වශීකෘත වූ බව 1898 එච්. සී. පී. බෙල් මහතා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.


" තද පැහැයෙන් යුතුව සිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහ පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ලෙස වැදහොත් මේ සිංහරාජ තෙමේ සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟීමක් දැන වූවාට සැක නැත."


සිංහ රූපයට ඔබ්බෙන් යන්තම් නැඟීමක් ඇති ආවරණය කළ පෙත් මගක් තිබුණේ වී නමුත්, දැනට එහි ඉතිරිව ඇත්තේ වහලේ යටලී සවිකළ සිදුරුත් බිත්තිවල පාදම් ලකුණුත් පමණකි. සීගිරි පර්වතය මත ඇති සුවිසල් මාලිගය කරා අද පිය නගන්නකුට උපකාරී වන පිය ගැට පෙළ සැකැසී ඇත්තේ මේ පැරණි බිත්ති පාදම ප්‍රයෝජනයට ගනිමිනි.






ree



පර්වතය මුදුනේ රජ මාලිගය


උතුරු දෙසින් පිටත මාලිගයට පිවිසෙන අපට දෙපසින් ගර්භාගාර පංති ඇති පෙත් මඟ දිගේ දකුණෙන් පිහිටි මළු පෙත් වලට හා විසිතුරු පොකුණු වලට පිවිසිය හැකිය. යළි උතුරු දෙසට හැරුණු කල දක්නට ඇති පියගැට පේළි දිගේ අභ්‍යන්තර මාලිගයේ ශාලා හා කාමර එකිනෙක පසු කරමින් පර්වතයේ උසම තැන පිහිටි ඇතුල් ගැබට එළැඹිය හැකිය.


මේ මළු පෙත්, ගර්භාගාර, ශාලා හා මණ්ඩප අතරින් අපට පෙනෙන්නේ ගඩොළුමය පෙතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනයයි. විශ්මයෙන් සිත් අලලන සීගිරිය නම් වූ මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත් කේන්ද්‍රස්ථානයක් වූයේ මේ මහා මාළිගය මැයි.


ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසාගෙන ඇති මේ සුවිසාල මාලිගය රාජ්‍ය බලයත් මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. එය නිර්මාණය කිරීමට උපයෝගී කරගත් හැම ගඩොලක්, හැම හිරිගල් කැටයක්, වැලි කැටයක් ම මිනිස් ශ්‍රමය යොදා මේ මහා පර්වතය මුදුනට උසුලාගෙන යාමට සිදු වූවාට සැක නැත.


අවට ඇති තැනිතලාවෙන් බඹ සියයකට වඩා උසින් පිහිටි, වළාකුළු සිප ගන්නා මහා මාලිගයෙහි සිට කාශ්‍යප රජ තෙමේ සීගිරි තැන්නේ හා එහි තැනින් තැන ඇති කඳුවැටි වලින් චමත්කාර ජනක වූ මනහර දර්ශනය සිත් සේ දැක ගත්තාට සැක නැත.


උද්‍යාන


සීගිරි පර්වත සෙවනැල්ලේ ඇති ජල උද්‍යාන ඇතුලත සිට රස විඳීමට මෙම පර්වතය මත සිට සිරි නැරඹීමට ද සකසන ලද්දේ විය. බටහිර ඉසව්වේ කේන්ද්‍රය වූ මෙම ජල උද්‍යාන පෙමං රැසකින්ද, ජ්‍යාමිතිකව තැනුණු පොකුණු

සමූහයකින් ද, දිය අගල්වලින් වට වූ බිම්කඩ පන්තියකින් ද ඒ අතට මේ අතට නැඹුරු වෙමින් ගලා යන දිය පහර ගණනාවකින් ද බුබුලු නැගෙමින් පතිත වන දිය මල් කැලකින් ද සැරැසුම් ලද්දේ වෙයි.


ශ්‍රී ලංකාවේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ මෙතෙක් අවධානය යොමු නොවූ විශේෂ ලක්ෂණයක් වූයේ උද්‍යාන නිර්මාණ කලාවයි. මෙම කලාවේ කැපී පෙනෙන උපාංගයක් වූයේ ශිලා උද්‍යාන නිර්මාණය කිරීමයි.



ree

ශිලාමය උද්‍යානය


අද සීගිරිය නරඹන්නා මහා පර්වතයෙන් හා සිතුවම් වලින් කොතරම් වසඟයට පත් වේ ද කිවහොත් ඒ කරා යන ගමනේදී පස්වන සියවසේ සංස්කෘතිය පිළිබඳ ජීවමාන කෞතුකාගාරයක් බඳු වූ මේ උද්‍යානයන්ට ඔහුගෙන් ලැබෙන්නේ නෙතග බැල්මක් පමණි. එහෙත් සැබැවින් සෞන්දර්යාත්මක හා ඓතිහාසිකව වැදගත් වන්නේ මේ උද්‍යානයන්මය. ඒවා මුළු ආසියාවෙන්ම දැනට ඉතිරි වී ඇති පැරණිතම දර්ශණීය උද්‍යාන වන අතර මුළු මහත් ලොවම ගත් කල ඒවා දෙවැනි වන්නේ යුරෝපයේ පැරණි රෝම උයන්වතු වලට පමණකි. අතීතයේ එක් යුගයක මෙය තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමින් සැදි රාජකීය ජීවිතයේ කාන්තියෙන් හා කෙළි දෙළෙන් ජීවමාන වූ නන්දනෝද්‍යානයක් විය.


ජල උද්‍යාන ඔස්සේ පර්වතය වෙත ගමන් ගන්නා අප පිවිසෙන්නේ සුවිසල් දිය අගල් දෙකකින් වට වූ දූපත් දෙකක් මත පිහිටි ගිම්හාන මාලිගා දෙකක් දෙපසින් ඇති පටු අංගණයකටය. මේ අංගණය පුරා පැතිරී ඇති ගඩොලින් තැනුණු නොගැඹුරු කෘතීම දිය පාරවල් වඩාත් චමත්කාර ජනක වන්නේ තැනින් තැන හිරිගලින් තැනූ දියමල් නිසාය. මෑතදී කරන ලද කැණීම් වලින් පස් හා කුණු රොඩු ඉවත් කොට ඇති බැවින්, වැසි ජලය මැනවින් ඇති දිනක ප්‍රමාණවත් පීඩනයක් ලබන මේ දියමල් අද වුවත් පණ ගැන්වෙමින් විසිතුරු වන හැටි අපූරුය. වෙනත් තැන්වල මහා පරිමාණ වාරිමාර්ග කටයුතු සඳහා උපයෝගී කර ගත් සිංහලයන්ගේ ජල වේග පාලන තාක්ෂණ ඥානය මෙතැන යෙදුණේ විනෝදකාමී සිහින් සොඳුරු ලොවක සිරිය නැංවීමට ය. මෙම සංකීර්ණ ජලෝද්‍යානයෙහි කුඩා ජලපාලන බිසෝ කොටු හා යන්ත්‍ර ක්‍රම යොදා ගත්තේ පියගැට පෙළ හා පෙමං ඔස්සේ විහිදෙන ගඩොලින් බැඳි දිය බස්නා උමං ජලමාර්ග උපයෝගී කරගෙනය.

විසිතුරු උයන් තැනීමේ මුලික සිද්ධාන්ත දෙකක් සීගිරියෙහි එකට කැටි වී තිබේ. එනම් පැරණි මිසර හෝ පර්සියානු උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික නැතහොත් සුසංගත සැලසුම් ක්‍රම සහ විනය හා ජපානය අනුගමනය කළ ස්වාභාවික නැතහොත් අසංවිධිත සැලසුම් ක්‍රමයයි.


ජල උද්‍යාන මුළුමනින්ම මිනිස් චින්තනයෙන් බිහිව මිනිස් දැතින් ඔප් නැංවුණ කලා කෘතීන්ය. ගල්පර, ලෙන් හා ගල් උයන්වල ඒ අතට මේ අතට යොමු වෙමින් වැටුණ පෙමං වලින් පෙනෙන්නේ විශේෂ දර්ශනයකි. එනම්; ස්වභාව ධර්මය ප්‍රතික්ෂේප කිරීමට විනාශ කිරීමට හෝ, එයට ආදේශකයන් සෙවීමට නොපෙළඹුන මිනිසා, එය අගය කරමින්, සිය අවශ්‍යතාවයන් හා පරමාර්ථයන් සපුරා ගැනීම සඳහා සියුම් ලෙස යොදා ගැනීමට දැරූ උත්සාහයයි. උද්‍යාන නිර්මාපකයන්ගේ මේ දාර්ශනික භාව ප්‍රකාශන මාධ්‍යය අපට ඉතා හොඳින් පැහැදිලි වන ස්ථාන නම් චීනයේ, කොරියාවේ සහ ජපානයේ ඇති ගල්පර, වැලි තලා හා ජල මාර්ග සම්මිශ්‍රණයෙන් බිහි වූ උද්‍යානයන් ය.


සීගිරියේ ශිලා උද්‍යාන මේ සිද්ධාන්තයන්ට මා හැඟි නිදසුනක් වුවත් ඒවා අග්නිදිග ආසියාවේ ඇති උද්‍යාන නිර්මාණ කලාවට වඩා බෙහෙවින් පැරණිය.


සීගිරි සංකීර්ණයේ ඉපැරණිම කොටස ලෙස සැලකිය හැක්කේ මේ ශිලා උද්‍යානයයි. මුල් ම යුගයේ බෞද්ධ භික්ෂූන්ට සෙවන දුන් ලෙන් හා ආරාම බිහිවුණේ මෙහි ඇති ගල්පර යට ය. කාශ්‍යප රජ සමයේ අධිපතීන් හා කුලවමියන් විසින් ඒවා රාජසභා මණ්ඩප, ශිලාමය සිංහාසන හා සන්ථාගාර ශාලා බවට හරවා ගනු ලැබිණ.


පවුරු හා දිය අගල්


සීගිරියේ බටහිරටත් නැගෙනහිරටත් විහිදෙන දිය අගල්වල අද දිය පිරී, පියුම් පිපී ඇතත් මේ දිය අගල් වලින් කොටසක් කැණ පිලිසකර කොට නැති බැවින් පුරා විද්‍යාඥයන්ගේ අවධානය ඒ වෙත යොමු වී තිබේ.


සීගිරියේ පවුරු පදනම් අද අපට පෙනෙන්නේ හුදු අලංකාරයේ හා වමත්කාර ජනක භූමි නිර්මාණයේ කොටසක් වශයෙන් වුවත් සෞන්දර්ය විෂය සීමාව ඉක්ම වූ අර්ථයක් හා වැදගත්කමක් ඒවාට තිබුණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආරක්ෂක පවුරු පදනම් වූ ඒවායින් සැලසුණු ආරක්ෂාව දෙයාකාර විය.

එක් අතකට පිටතින් එල්ලවන සතුරු උපද්‍රව වලින් ඇතුළත සිටියවුන්ට ආරක්ෂාව ලබා දුන්නේ මේවායිනි. අනික් අතට රජවාසලත් පොදු ජනතාවත් අතර සම්බන්ධයේ ස්වභාවය තීරණය කල සීමාවන් වූයේත් මේ පවුරු පදනම් මය. ඒ සියල්ලත් සමග, පස්වන සියවසේ පැවැති ගණිත ශාස්ත්‍රීය තියුණු නුවණ පිළිබඳ අගනා නිදසුන් ද මේ මගින් සැපයෙයි.


පවුරු ගොඩනගා ඇත්තේ ගලින් තැනූ ආධාරක බැමි අතර පස් දමා නැවත නැවත තැලීමෙනි. දිය අගල්වල මෙන් ම මේ පවුරු වල ද කැණීම් කොට තහවුරු කළ කොටස් වලින් පැරණි යුගයේදී ඒවා තිබුණු ස්වභාවයත්, ඒවා තැනීමට උපයෝගී කර ගත් ශිල්පීය විචිත්‍ර අදහසක් අනාවරණය වෙයි. උපක්‍රමත් පිළිබඳ


මේ ආධාරක බැමි තැනුනේ දැවැන්ත ගල් කුට්ටි එක් කිරීමේ සීගිරියට ම ආවේණික ශිල්පක්‍රම මගිනි. විවිධ ආකාර ගන්නා මේ ගල් බැමි වරෙක තනිවත් තවත් වරෙක ගඩොලු බැමි හා එකතුවත් තැනූ සෙයක් පෙනෙයි.


මුළු මහත් සීගිරි බිම වටකරගත් මේ පවුරු මනාව හෙළි පෙහෙලි කර ඇති විටක සීගිරියේ දැනට ඇති ඉතා දර්ශනීය ලක්ෂණයන්ගෙන් එකකි. මේ පවුරු තනවන ලද්දේ කාශ්‍යප මහ රජු විසින්ම යයි වංශ කථාව ඉඳුරාම පවසයි. සීගිරියේ මගුල් උයන වට කොට ඇති ඇතුල් පවුරේ උතුරෙන් සහ දකුණෙන් ගඩොළුමය මහ වාහල්කඩ දෙකක් දක්නට ලැබේ. මේ වාහල්කඩ දෙක ම දැන් මැනැවින් පාදා තහවුරු කොට ඇත. බඹ කීපයක් උස් වූ මේ වාහල්කඩ තුළින් ඇත්රියක්, අස්රියක් හෝ ඊටත් වඩා විශාල වාහනයක් වුව ද ගෙන යා හැකිය. බටහිර දෙසින් දිය අගල හරහා පටු දොරටුවකින්ද උයනට ඇතුල් විය හැකිය


ගෘහ නිර්මාණ ශිල්පය


සීගිරියේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පය ලී, ගඩොල් හා ගල්වල සංකලනයකි. පස්වන සියවසට අයත් මෙම ගොඩනැගිලි ඉදිකිරීමේ මූලාධාරකයක් වූ දැවමුවා කණු හා හරස්කඩ විනාශ වී ගොස් දැන් බොහෝ කල්ය. නමුත් ඔප දමා බිම ඇතුරු හිරි ගල්වලත්, ස්වාභාවික ගල් කුළු වල ගල්පර වලත් තැනින් තැන කපා ඇති කණු වලවල් හා හරස්කඩ සිදුරු පැරණි ගල් වඩුවන්ගේ නිපුණත්වයට සාක්ෂි දරයි.


පැරණි ගඩොල් බැම්මක ඉතිරි වී ඇති එබ්බු ලකුණු වලින් හා ඉඩ කඩින් දැවැන්ත ලී දොර උළුවස්සක සේයාවක් ඉඳහිට අප සිත් තුළ මැවෙයි. සීගිරියේ ගඩොළු වඩුවන්ගේ විශිෂ්ට කෘතීන් වනුයේ කැටපත් පවුර, සිංහ සෝපාන පථය හා පර්වත මුදුනේ පිහිටි විශාල මාලිගයයි. එහෙත් මේ විනෝද උයන්වල ද සීගිරි නිර්මාණ ශිල්පීන්ගේ කලා කෞශල්‍යයේ හා සියුම් නිපුණත්වයේ සළකුණු තැනින් තැන දැකිය හැකි ය.


පැන්නුම් ආරුක්කුව හා දඟර ලියවැල්


පිටතට නෙරාගිය රැලි පාලම් ආරුක්කුව සීගිරි ගෘහ නිර්මාණ ශිල්පීන්ට හුරු පුරුදු එකක් විය. ඔවුන් තුළ ස්වාභාවික පසුතල ගැන තිබූ උනන්දුවට සරිලන තරමට ම උනන්දුවක් හා හැඟීමක් රැලි නැංවීම් හා දඟර ලියවැල් නිමැ වීම ගැන තිබුණි. ඒවා එකිනෙකට ගැලපීම හා සමතාව ගැනත් ඔවුන්ගේ අවධානය යොමු විය.


කත්තු හෙවත් කඩතොලු


සීගිරි ගෘහ නිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ හැම ගල්කුලක හා ගල්පරයක ම පාහේ මතුපිට ගොඩනැගිල්ලක් හෝ මණ්ඩපයක් තනා ඇති ආකාරයයි. ගල්පර මුදුනේ හෝ පැතිවල පියගැට හෝ කාණු ලෙසින් අපට පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම ඒවාට යාකොට තැනුන ගඩොල් බැමිවල අඩිතාලම් සඳහා සැකසූ කත්තුය. සීගිරි ශිල්පීහු ගල්පරයක හෝ ගල්කුලක මුල ස්වාභාවික ගතියම රකිමින් ඒ මත විශ්මය ජනක ලෙස ගොඩනැගිලි තැනූහ.


ගලට එබ්බු ගඩොල්


ගල්කුළුවල කණින ලද කෙවෙණි තුලට ඔබ්බා ඇති ගඩොළු ශේෂයන් තවමත් දක්නට ඇත. කළුගලත් ගඩොලත් මෙලෙස දක්ෂ ලෙද පිරිද්දීම සැබැවින් ඉංජිනේරු ශිල්පයේ මෙන්ම ගෘහ නිර්මාණ සැලසුම් කිරීම විශිෂ්ඨ අවබෝධය පිළිබඳ මනා නිදසුනක් ද වේ. එපමණක් නොව එය ස්වභාව ධර්මය පාලනය කිරීමට මිනිසාට තිබූ හැකියාවන් හා ඒ කෙරෙහි ඔහු තුළ වූ සැලකිල්ල පෙන්නුම් කරයි.



සීගිරි චිත්‍ර


ඇත්තෙන්ම සීගිරිය ලෝ පතල වී ඇත්තේ එහි බිතු සිතුවම් නිසාය. මහා පර්වතයේ බටහිරින් පිහිටි ඇතුලට නෙරාගිය නැම්මක ඉහළින් ඇති මේ බිතු සිතුවම් කරා අද අප එළඹෙන්නේ දඟර වෙවී යන සෝපාන පේලියෙනි. අව්වැසි වලින් උවදුරට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ (ගලේ නැම්ම හඳුන් වන්නේ එලෙසය.) සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක සීගිරි පර්වතයේ බටහිර පැත්ත පුරාම විහිදුණි. මේවා පුළුල් පටියක තුබූ අති විශාල බිතු සිතුවම් සම්භාරයෙන් ශේෂ ව පවත්නා කඳුළක් පමණි.


මේ බිතු සිතුවම් වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. අප්සරාවෝ දකුණු ආසියාවේ ආගමික හා රාජකීය චිත්‍ර කලාවට පොදු වස්තු විෂයයකි. සීගිරි චිත්‍ර වලට වස්තු විෂය වුයේ කස්සපගේ අන්තඃපුර ලලනාවන් යයි හැඳින්වීමට බොහෝ වියතුන් උත්සාහ දරා ඇත. සීගිරි චිත්‍ර ශිල්පීන්ගේ නිරූපිකාවන් වූයේ ඔවුන් බවට සැකයක් නැත. සීගිරි අප්සරාවන් තුළ ගැඹුරු සංකේතාත්මක අරුතක් ගැබ්වී ඇතැයි සමහර උගත්තු පවසති.


ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයා වූ ආචාර්ය සෙනරත් පරණ විතානගේ මතය වූයේ මේ අප්සරාවන් සංකේතාත්මකව වලාකුළු හා විදුලි කෙටීම් ( මේඝලතා හා විජ්ජුලතා) නිරූපණය කරන බවත් ඔවුන්ට ඉහළින් පර්වතය මත වූ රජ මාලිගය අහස් කුස වූ දෙවි විමනකුත් එහි වූ රජු දේවා රාජයෙකුත් නිරූපණය කර පෙන්වන බවත්ය. එහෙත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට ආ විනෝදකාමීන්ට මෙන් ම අපටත් මේ චිත්‍ර පෙනෙන්නේ සුන්දර වනිතා පෙළකගේ ආහ්ලාදජනක සිතුවම් කීහිපයකට වැඩි දෙයක් ලෙස නොවේ.


ලංකාවේ දැනට ඉතිරි වී ඇති චිත්‍රවලින් පැරණිම ඒවා වූ සීගිරි චිත්‍ර සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායයන්ට ආවේනික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රී ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි.


ree

ශිලා උද්‍යානයේ ගුහාවල ඉතිරි වී ඇති චිත්‍ර කැබැලි ප්‍රධාන චිත්‍ර ගුහාවේ ඇති ඒවා තරම් ප්‍රකට නැතත් එක කාල පරිච්ඡේදයට ම අයත් වෙයි. ඉතා සියුම් ලෙස අඳින


ලද මල් හා සත්ව රූපවලින් සමන්විත වියන් සිතුවම් මෙන් ම ප්‍රධාන චිත්‍ර ගුහාවේ ඇති ලලනා රූපයන්ට කිසිසේත් නොදෙවෙනි සුන්දර ලලනා රූප ද මේ චිත්‍ර සමූහයට අයත් වෙයි.


වසර දහ අටක් තිස්සේ රාජකීය අනුග්‍රයට භාජනය වූ සිගිරිය නැමැති කලා හා වාස්තු විද්‍යාත්මක පාරාදීසයක් නිමාව මේ චිත්‍රවලින් සනිටුහන් වෙයි.


කස්සපගේ අවසන් මොහොත


එහෙත් කාලයා විසින් සීගිරි කස්සප අමතක නොකරන ලදී. සීගිරි ඉතිහාසයේ තීරණාත්මක මොහොත එළඹුණේ ක්‍රි. ව. 497 දීය. කස්සපගේ සොහොයුරු මොග්ගල්ලාන දහඅට අවුරුද්දක් ගත කළ පිටමං ජීවිත කෙළවර කරමින් මහ යුද බල ඇණියක පෙරමුණ ගනිමින් සීගිරිය කරා ගමන් ගත්තේය. කාලයාගේ වැලි තලාවෙන් සැඟවිය නොහැකි වූ මේ අභියෝගයට මුහුණ දෙනු සඳහා සිය බල ඇණි පිරිවරා ගත් කස්සප ද ඉදිරියට ගමන් කළේය.


වංශ කතාව ඒ තීරණාත්මක මොහොත මෙසේ විස්තර කරයි. '' මහ මුහුදු දෙකක් ගොඩ ගමන් ගත්තා සේ මහ සේනා දෙක එකිනෙකා මත කඩා වැදුනේය. ඔව්හු මහ යුදයකට පිළිපන්හ. තමා ඉදිරියෙන් වූ මහ මඩ වගුරක් දුටු කස්සප සිය යුද ඇතු හරවා ගෙන වෙනත් මගකට පිවිසියේ ය. මේ දුටු ඔහුගේ හමුදාවෝ තම රජු පළා යන්නේ යයි වරදවා වටහාගෙන, සඟයිනි. අපේ මහ රජු පලා යතියි මහ හඬ නඟමින් සී සී කඩව දුවන්නට වන් හ. ' අපට උන්ගේ පසුපස පෙනේ " යයි මොග්ගල්ලානගේ ජයග්‍රාහී හමුදාවෝ ඔල්වරසන් දුන්හ. ඉණෙහි වූ සිරිය ඇද සිය ගෙල සිඳ ගත් කස්සප රජු එය ඉහළට ඔසවා කොපුවෙහි ළා ගත්තේ ය.'' සීගිරියේ සිංහයා මළවුන් අතර එක්විය!


සීගිරිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලයේ කේන්ද්‍රස්ථානය වශයෙන් පැවති කෙටි හා දීප්තිමත් යුගය නිමාවට පත්විය.


නමුත් එහි කතා පුවත එතැනින් කෙළවරට පත් නොවිණි. අනුරාධපුරය නැවතත් අගනුවර කරගත් මොග්ගල්ලාන සීගිරිය සංඝාරාමයක් බවට පත් කළේය.



සංඝාරාමයේ මධ්‍යස්ථානය ශිලා උද්‍යාන පද්ධතියේ බටහිර කෙළවරේ පිහිටුවන ලදී. හයවන සියවසට අයත් සංඝාරාමයක නටඹුන් මෑතදී කරන ලද කැණීම් වලින් සොයාගෙන ඇත. මේ ආරාම කොතෙක් කල් පැවතියේ දැයි අපි නොදනිමු. නමුත් කස්සපගේ මරණින් සියවසක් ගත වන තුරු වත් දිවයිනේ යුද කටයුතු වල හා දේශපාලනික කටයුතු වල සැලකිය යුතු සිදුවීම් කීපයක් සිගිරියේ සිදු වූ බව පෙනේ. හත්වන සියවසේ විසූ රජුන් දෙදෙනකුගේ හා එක් රාජ කුමාරයකුගේ හිස ගසා දැමීම මෙහිදී කෙරුණ බව වාර්තා වී ඇත. මෙතැන් පටන් සිගිරිය වංශ කථාවල සඳහන් නොවෙතත් එය මුළුමණින් ම අමතක කරන ලද්දේ නොවීය.


සීගිරි ගී


සීගිරියේ ඉතිරි වී ඇති විශේෂ මතක සටහන් වලින් එකක් වන්නේ බිතු සිතුවම් වලට පහලින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයයි. මේ ගී සමුහය සීගිරි ගී නමින් හැඳින් වේ. මේවායින් පෙනෙන්නේ දිවයිනේ හැම දෙසින්ම නිතර පැමිණි සෑම තරාතිරමකටම අයත් ජනයාගේ විනෝද නිකේතනයක් බවට බිතු සිතුවම් හල, සිංහයා සහ රජ මාලිගය පත්ව තිබූ බවයි. මේ විනෝදකාමීන්ගෙන් සිය ගණනක් බිතු සිතුවම් හා රජ මාලිගය පිළිබඳ සිත් සතන් තුළ පහළ වූ සිතුවිලි හා රස මුසු හැඟීම් ද ඒවා අගය කරන ප්‍රකාශ ද කැටපත් පවුරේ සටහන් කර ගියහ. මෙම කුරුටු ගී වලින් 700 කට ආසන්න ගණනක් කියැවූ ආචාර්ය පරණවිතාන ඒවාට තේරුම් ද සපයා ඇත. දැනට ඉතිරි වී ඇති ආදීම සාහිත්‍යය ප්‍රබන්ධයන්ගෙන් එක් කොටසක් වන මේ කුරුටු ගී සම්භාව්‍ය සාහිත්‍ය ලක්ෂණයට වඩා එදිනෙදා පැවති සම්මත භාෂාවේ ලක්ෂණ පෙන්නුම් කරයි. වැඩි හරියක් ගීවලින් අමතනු ලබන්නේ බිතුසිතුවම් වල ලෙලදෙන ලලනා වියන්ය. මෙයින් වැඩි කොටසක කතුවරු තමන් කවුදැයි හඳුන්වා දෙමින් ගීය අරඹති.


මේ ගී රචනා කොට ඇත්තේ ක්‍රි. ව. හත්වන සියවසේ සිට දහතුන් වන සියවස දක්වා කාල පරිච්ඡේදය තුළය. මේ ගී අතර ගද්‍ය පාඨ මෙන්ම සංස්කෘත හා ද්‍රවිඩ භාෂා වලින් ලියැවුණු පද්‍ය ද ඇති බව එතරම් ප්‍රකට නැති කරුණකි.


සීගිරි කවීන්ගේ අදහස් කීපයකි මේ


17 (ප) ලව (තු) වේ ( ලැ) අරම්බ් තැනු සඟපල්


(බති) මී මේ ගිය ලිමි බෙයන්ද් ගොසින් බැලුමො සිත් සුරුස්නා සෙය් බණ තුජ් නොබෙණෙනන් ඇ (සිපි) යෙව් එයින් ලයු නැත්තෙ ( කතා කළත් කතා නො කරන අඟනුන් බෙයදට (ගලේ නැම්මට) ගොස් සිත් සේ බලා ගනිමු. ඔවුන් ඇහිපිය හෙළන්නේ වත් නැත!)


18 (ස්වස්ති)


නිරිඳු මෙළෙයින් වැ සොව්පත් බැණැ මුමුළහි කුමට් ජමෙ ගල් පිය සලඟින් හෙන්න යුන් (වැ)න්නට (රජතුමා මළ හෙයින් ශෝකයට පත්ව මුළු මුළු වල කතා කරමින් සිටින ඔවුන් ගලෙන් වැටෙන්න යනවා වගෙයි. ඒත් මේ පර්වතය ඔවුන්ට ප්‍රිය මනාප තැනක් වී ඇති හැටි!)



69


මෙසා තොප බන්දුහු

කියවූහු සිතන්නා සෙ ඔකඩ්නා සියළඟ ලොමුදහ ගැනවි සිහිගිරි (හිතට ආ දෙයක් කියන්න පුරුදු වූයේත් ඔබ නිසා ය. සීගිරියේ දී ලොමුදහ ගැන්වීමෙන් සියළඟ ඔකඳ කරවනු ලබන්නේත් ( ඔබ නිසාය.)


103

කොමුල් අමඩ් ලෙඩ් ලිනසී


එබොන්ද මියුර් යහ බැසී


ඒ කපල් දල වන් මන දිගැසී


ජල්වයි (සිත්) නොමුසී



(ඇය ලු කොමළ හිනාව කොමඩු ගෙඩියක ඇට (පෙළ මෙනි) ඇගේ පිය තෙපල එම කොමඩු ගෙඩියෙහි මදය මෙන් මියුරුය. ඇගේ දිගු ඇස එම කොමඩු ගෙඩියෙහි පිට පොත්ත මෙන් දෙ කෙළවර දෙසට කෙමෙන් සිහින් වී යයි. (ඕ) මා හද දල්වයි. (මා) සිත (ඇය කෙරෙන් මිදෙන්නේ නැත.)



134

(දිග) ල වාණ වැසි සිරින හිමියන ගී

වන්දම් හිමි වළා තො ගොසින් ඇය නෙවෙස්නට

පිරිබුන් පගා මල යුත දිවොට - තො හදහව කිය

කියයි.


දිගලවාණ වැසියකු වූ සිරින හිමියන්ගේ ගීයයි.

වළාකුළු නැමති ස්වාමීනි, ඔබට වඳිමි! ඇගේ නිවසට

ගොස්.

ලිහිල් වූ ධෛර්ය ඇති, මැලවී ගිය දිව හා තොල්

ඇති

(ඇයට නැවත නැවතත්) කිය කියා විශ්වාසය ඇති


කරවන්න.....''


269.එ කෙල්ලට සුදුසු දිය හැකි පතක් රුස්නා

ඇවිද් සීගිරි නෙඟි නො කළ අන්කුම් කියන් (නෙය්ය)

‘ඒ කෙල්ලට ආසාවෙන විදියේ ලියුමක් දෙන්න

පුළුවන්'


සීගිරි ඇවිත් (ගලට) නැග්ගෙ නැද්ද? (ගලට නැග්ගොත් නැතිව) වෙන දේවල් ගැන කතා කරන්නේ මොකටද?' (මෙය දෙබසක ස්වරූපයෙනි)


306

ලැදි මන බන්ද නා

පැහැබර් සිනා රුස් නා

කතක් හී තොස් නා

මිණි අකුස්හි ලය් ගන්නා


(ඇල්ම ඇති කරවන, පැහැබර සිනා ඇති හිතේ සතුට දනවන කාන්තාවක කෙරෙහි ආලයක් ඇති කර ගැනීම මණි අංකුසයක් (මැණික් වලින් කරවූ හෙන්ඩුවක් ) පපුවට ඇන ගත්තා වගෙයි!


334

ස්වස්ති අග්බෝයි මි ලීමි නිල් කටරොළු මලැකැ-ඇවුණු වැට්කොළ මල සෙය්

සැන්දැගැ සිහි වෙන්නයි - මහනෙල් වන හය් රන්වන්

හුන්


(යහපතක් වේවා. අග්‍රබෝධි වෙමි. ලීවෙමි.) ( මානෙල් පාට ( තැනැත්තිය) සමග සිටින රන්වන් (තැනැත්තිය)


නිල් කටරොළු මලෙක ඇමුණුන වැටකොලු මලක් වගෙයි මේ හැන්දෑ යාමේ මගේ හිතට නැගෙන්නේ.)


340 ‍

පරත්තැ සෙන් ගී

ගම නැ කැළැකිර් ලී

තුනුවන් ළසොව් තැව් ලී

නුයුනින් කොට් අස්වැසිලි

තොමො හළ් බෙයන්ද් කත් ලී

( හිතේ ඇති කළ කිරුණු ගතිය ගමනෙන්ද, හද නැගි ශෝකයත් තැවීමත් මුහුණෙන් ද ( පළ කරන ) ශෝබන කාන්තාව නෙතින් කඳුළු ධාරා වගුරුවා තමා විසින්ම පර්වතයේ බෑවුම අත්හැර දැමුවා ය )


කාලය ගෙවී යද්දී සීගිරි ගී ලිවූ කවීන් පවා සිංහ පර්වතය හෙබ වූ ලලනා වියන් අමතක කළ බව පෙනේ. වන පෙතින් වැසී ගත් සීගිරිය නටබුන් අතරට එක්වුවත්, එය මුලුමනින් හැර දමන ලද්දේ නොවීය. මහනුවර යුගයේ සාහිත්‍ය ග්‍රන්ථ වල අනුරාධපුරය, පොළොන්නරුව මෙන්ම සීගිරිය ද පැරණි අගනුවරක් ලෙස සඳහන් කොට මතකයට නගා ඇත. මේ යුගයට අයත් මන්දාරම්පුර පුවත නම් පද්‍ය ග්‍රන්ථය සීගිරිය සීතාවක රාජසිංහ රජු විසින් ශිව ආගමික පූජකවරුන් පදිංචි කරවූ තැන්වලින් එකක් ලෙස සඳහන් කරයි. සීගිරි පර්වතය වටා වූ කුඩා ගම්මාන මහනුවර රාජධානියේ ඈත බල කඳවුරු ලෙස ප්‍රයෝජනයට ගන්නා ලද්දේ විය. මේ කුඩා ගම්මානවල වැසියෝ කස්සපගේ ආලකමන්දාවට අලංකාරය ගෙන දුන් පවුරු පදනම්, දිය අගල්, මල් උයන් හරහා ඔබිනොබ ගමන් කළ හ.


මෑත යුගයේ සීගිරිය සොයා ගැනීම


සීගිරියේ නූතන සොයාගැනීම් දහනව වැනි සියවසේ මැද සිට ආරම්භ වේ. 1850 ගණන්වලදී අඳින ලද සිතුවමක් සීගිරිය පිළිබඳව ඇති නූතන සිතුවම් වලින් පැරණිම එක වෙයි.


නූතන පුරාවිද්‍යාත්මක කටයුතු පටන් ගත්තේ දැනට අවුරුදු සියයකට පමණ පෙර 1894 දීය. බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥ එච්. සී. පී. බෙල් මෙහි වසර ගණනක් තිස්සේ වැඩ කළේ පස්වන සියවසේ සීගිරිය නිර්මාණය කළ මහා නිර්මාපකයන් හා පෙදරේරුවන් මුහුණ පෑ පරිසරයට සමාන පරිසරයක් තුළය. ඒ ඈත අතීතයේ මෙන් ම මෙවරත් සීගිරිය නැවත ගොඩ නැගීමේ මහා කර්තව්‍යයෙහි වැඩි බර කොටස උසුලන ලද්දේ සීගිරිය අවට ගම් වලින් පැමිණි ගොවීන් හා කම්කරුවන් විසිනි.


සෙනරත් පරණ විතාන සහ සීගිරිය


1940 ගණන්වල හා පනස් ගණන් වල කැණිම් කටයුතු කළ මහාචාර්ය පරණවිතාන විනෝද උයන් හා බලකොටු සොයාගෙන තහවුරු කළ අතර බෙල් විසින් ඇරඹු පර්වතය මුදුනේ කටයුතු නිමාවට පත් කළේය. සීගිරිය හා බැඳුණු රහස් සෙවීමේ කටයුතු වලට ජීවිතයෙන් දසක ගණනාවක් කැප කළ මේ මහා විශාරදයා එයට දැක්වූ අපමණ ඇල්මටත් අවසාන කැමැත්තටත් ගරු කිරීමක් වශයෙන් ඔහුගේ අළු එහි නිදන් කොට සීගිරි පව්ව දෙස බලාගත් වන ම සිටිනා පිළිරුවක් ද පිහිටුවා ඇත.


ඔහු පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හෙබවූ වකවානුවේ සම්භාවනීය සංචාරකයෝ රැසක් සීගිරිය නැරඹීමට පැමිණියහ. ඔවුන් අතර එංගලන්තයේ මහ රැජින ද, චීන අගමැති ද වූහ.


1984 පටන් ගත් පරණවිතානගේ වැඩ කටයුතු බෙල් අනුප්‍රාප්තිකයන් සහ පුරා විද්‍යා කොමසාරිස්වරුන් හා ඔවුන්ගේ සහායකයන් විසින් දිගටම කරගෙන යන ලදී.


පැරණි සිතුවම් හා නූතන සිතුවම්


සීගිරි සිතුවම් වල කවීන්ගේත් කලා කරුවන්ගේත් සිත් පොබයන අගය දිගටම පැවතුණි. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු වූ මරේ බිතුසිතුවම් ගුහාවට නැග ඒවා පිටපත් කළ මුල්ම තැනැත්තා විය. ඒ 1899 දී ය. බෙල් සමඟ වැඩ කළ මුහන්දිරම් පෙරේරා මීට පස් වසකට පසු පිටපත් කළ විශිෂ්ඨ සිතුවම් සමූහය දැන් ජාතික කෞතුකාගාරයේ එල්ලා තබා ඇත. පැරණි විශේෂඥ සිත්තරුන්ගේ කුසලතාවන් සමග තම කුසලතා උරගා බලනු රිසි වූ ලොවැ නොයෙක් රට වලට අයත් සිත්තරු මෙහි පැමිණ ඇත. කැළණිය විශ්ව විද්‍යාලයේ සෞ ධෛර්ය අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකු විසින් ශිලා උද්‍යානයේ ලෙණක් තුල ඇති වැඩි අවධානයට ලක් නොවූ සිතුවම් පිටපත් කරන ලදී.


යුනෙස්කෝ - ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණය සහ සීගිරිය


සංස්කෘතික ත්‍රිකෝණ වැඩ සටහන යුනෙස්කෝව සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහභාගිත්වයෙන්ද සිදු කෙරෙන්නෙකි.


මේ ව්‍යාපෘතියෙන් සිංහගිරි පර්වතයේ කථාන්තරයේ නව පිටුවක් පෙරැලේ. එය සංස්කෘතික සම්පත් විද්‍යානුකූලව පාලනය කිරීම පිළිබඳ වැදගත් අත්හදා බැලීමක් වන අතර ඊට අදාල අංග තුනකි. එනම් කැණීම් සංරක්ෂණ සහ පැරණි උයන් නැවත සකස් කිරීමයි.


සීගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යාත්මක මෙහෙයවීම කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා හා ඉතිහාස අංශවලට අයත් විශේෂඥයන් පිරිසකගේ පාලනය යටතේ සිදු කෙරේ. සංරක්‍ෂණය හා සංවර්ධන කටයුතු ද දැනට මෙහෙයවනු ලබන්නේ කැලණිය විශ්ව විද්‍යාලය මගිනි. භූමි දර්ශන සැකසුම මොරටුව විශ්වවිද්‍යාලයයේ ගෘහ නිර්මාණ ශිල්ප පීඨය මගින් කෙරෙනු ඇත.


පුරාවිද්‍යා ගවේශණය බොහෝ විට අසීරු එකක් වන අතර එය සූක්ෂම කාර්යක්ද වේ. හැකිතාක් පුරා විද්‍යාත්මක වස්තු ලබාගැනීමට දැඩි වෙහෙසක් දරනු ලැබේ. අකුරටම ක්‍රියාත්මක කෙරෙන විධි විධාන වලට අනුව වැඩ කරමින් පරිස්සමින් පස් ඉවත් කිරීම සිදු කෙරේ. එවිට මතුවන එක් එක් තට්ටුවෙන් අවුරුදු සිය ගණනකට පෙර මේ මාලිගය කවර ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනුනේද කුමන තත්වයක පැවතියේද යන්න පුරා විද්‍යාඥයන්ට පහසුවෙන් නිගමනය කළ හැකිවනු ඇත.


මෙම කැණීම්වල පරමාර්ථ දෙකක් වේ. එකක් කාශ්‍යප රජුගේ පුරවරයේ සැලසුම හා ඒ හා සබැඳි විස්තර තොරතුරු එළිදරව් කිරීමත් පස්වැනි සියවසේ මෙහි පැවති ජීවිතය හා සමාජ තත්ත්වයන් හැකි තාක් දුරට හෙලි කිරීමත්ය.


දෙවන පරමාර්ථය නම්. අවශ්‍යයෙන්ම ප්‍රාග් - ඵෛතිහාසික යුගයේ සිට 19 වැනි සියවස දක්වා මේ ස්ථානයේ ඉතිහාසය හැදෑරීම සඳහා තට්ටුවෙන් තට්ටුව ගැඹුරට ම කැණීමෙන් වසර දෙදාහකටත් අධික කාලයකට පෙර විසූ මිනිසා පදිංචිව සිටි පස් තට්ටුවට ළඟා වීමයි.


අතීත සම්භාව්‍ය පුරා විද්‍යාවේ සම්මතයන් අනුව උනන්දුවෙන් සෙවූයේ කෞතුකාගාරවල තැන්පත් කළ හැකි කෞතුක වස්තූන්ය. එහෙත් නව පුරා විද්‍යාවේ සම්මතයන් අනුව ඊට වඩා උනන්දුවක් දක්වන්නේ උළු කැට කැබලි, වළං කැබලි, ඇණ වැනි ද්‍රව්‍ය හා ස්වාභාවික නටබුන් කෙරෙහි ය.


ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම අයිති පොදු වස්තුවක් ලෙස සැලකිය හැකි සීගිරියේ සරුසාර උරුමය සොයා ගැනීමේත් සුරැකීමේත් කාර්යයට විශේෂඥයින් තරුණ බුද්ධිමතුන් හා කම්කරුවන්ගෙන් සමන්විත සිය ගණනාවකගේ ශ්‍රමය එක්තැන් වී ඇත.


අතීතයේ එක් යුගයක මුළුමනින් බිසොවුන්, කුමාර කුමරියන් හා නිලමේවරුන්ටම සීමාවූ තැනක් දැන් සිය දහස් ගණනින් එහි ඇදී එන පොදු ජනතාවට සිය මුතුන් මිත්තන්ගේ ප්‍රෞඪ අතීතය පිළිබඳ පුවත කියාපායි.


අතීතයේ ප්‍රෞඪත්වය හා සෞභාග්‍යය මෙන් ම එය එළිපෙහෙළි කිරීමේ දුෂ්කර වුවත් ප්‍රිය ජනක කාර්යය බලා කියා ගැනීමටත් ලොව නා නා දෙසින් සංචාරකයෝ සීගිරිය කරා ඇදී එති.









 
 
 

Comments


Join our mailing list

Thanks for submitting!

  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Pinterest Icon
  • Black Flickr Icon
  • Black Instagram Icon

© 2023 TEAM

bottom of page